මං ආස්සරේ කලේ එකම විදිහක උන්ව.. යන්නෙ එන්නෙ එකම තැන්වල.. කියවන්නෙ එකම ආරෙක පොත්.. මෙතනින් එහාට ජීවිතයක් නෑ.. ඉතින් මං පලා යා යුතුයි..!
පලා යා යුතුව තිබූ දේවල් බොහෝමයක් තිබුනා.. ඒත් කොහේ කියා පලා යන්නද..? මෙතනින් ගැලවීමක් නෑ.. සමාජය කියන මඩ ගොහොරින්, මිනිහා පලා යාම තමයි ඔහු ජීවිතය තුල ලබන ලොකුම ජයග්‍රහණය. මම මටම නිතරම කියා ගත්තේ ඔය කාරණාව.. මේ ජීවත් වීම තුල මා මගේම ප්‍රතිපත්ති කඩා දමපු අවස්තා අනන්තයි...
මුල් දවස්වල නම් ඇත්තටම මට මිනිස්සුන්ව අදුරගන්න උමනාවක් තිබුනෙ නෑ, ඒත් ජීවිතේ වෙච්ච හැල හැප්පිම් එක්ක, කලකිරිම් එක්ක, වෙන්වීම්, මගහැරීම්, අත් හැරීම් එක්ක මට ඕනේ වුනේ මනෝ මනසිකාරය දියුණු කරන් විශුද්ධි මනැසකින් කාටත් බාධාවක් නොවී පාඩුවෙ ජීවත් වෙන්න.. ඇත්තටම ඒක තමයි මෙලෝම රහක් නැතිව ජීවිතේ ගෙවපු කාලේ...
පාරවල් දිගේ මම ඇවිද්දා, ආසම තැන්වල නතර වුනා, මිනිස්සු අදුරගත්තා, කතා බහ කලා, ටවුමේ කඩේ කට ගොඩවෙලා ප්ලේන් ටී එකක් බිව්වා, ඒ ඒ තැන්වල හිටපු මිනිස්සුන්ගේ තොරතෝංචියක් නැති කතන්දර අහගෙන හිටියා, උන් දිහා බලන් හිටියා.. තව පත්තර කියවන කම්මැලිකාරයෝ දිහාත්, රැයක් දවාලක් නැතුව නොකා නොබී අව්වට කරවෙච්ච වැස්සට තෙමෙන එදා වේල හම්බකරන්න නහින මිනිස්සු, අතපය හොදට තියාගෙනත් තමන්ගෙ ආත්ම ගෞරවය තව එකෙක්ගේ දෙපා මුලට යට කරන මිනිස්සු දිහාත් මන් බලාගෙන හිටියා..
ඔය අතරෙ ටිකක් ඇහැට කනට පේන් ගෑණියෙක් පාරෙ ගියොත්; මිනිස්සුන්ගේ ඇස් එලියට වැටෙන්නෙ හරියට ගෑනියෙක් එක්කලා කල්ප ගානක් ඉදලා නැති රතී කාමයෙන් මුසපත් වුනු ගානට... සමහරක් වුන්ට ගෑණු පරානයක් දැක්ක ගමන් කඩි කුලප්පුව..! පස්සෙ ඉතින් අර ගෑනි විසපොයින්ට් වුනහම තමයි දොන් ජුවන්ලා වෙන්න හිතන් හිටපු උන් ටික පියවි සිහියට එන්නේ.. නැත්නම් ආයෙත් සිගරට් කොටේට, නැත්නම් පත්තර කෑල්ලට බහින්නෙ..
අර කතාවක් තියෙනවනෙ ඉතින් චීත්තෙකට චීත්ත කතාවක් කියන්නෙ චීත්තයක්මයි කියලා.. ඒ ගෑණි දකින අනිත් ගෑණු එකතු වෙලා, ඒ ගෑණි දිහා බලලා, එක එක නින්දිත කතා ගොතනවා.. එක්කො ඒ ගෑණි මහත වැඩීලු.. එක්කො පපුව හරි ලොකුයිලු.. පස්ස පලල් වැඩිලු.. ඇදුම අන්තිමයිලු..
ඇත්තටම ගෑණුන්ගෙ තත්වේ ඕකයි.. උන් දන්නවා තමන්ගෙ මිනිහට තව හුඟක් ගෑණු ඉන්න බව.. නැත්නම් හිටපු බව.. නැත්නම් තමන්ගෙ මිනිහා වෙන ගෑණියෙක් එක්කලා යන්න ඉඩ තියෙන බව.. දැන් ඉතින් මේ ගෑණිට ඕන කරනවා අනිත් ගෑණු එක්කලා තරඟ කරන්න.. තරග කරලා ඒ ගෑණු පරද්දන්න.. උන් පරයා යන්න.. නූතන මනුස්සයා මේ තරඟය කියන එක, ඒකට නොගැලපෙන තැන්වලට පවා එන්නත් කරලා.. මේ හේතුව නිසා ගෑණි හැම තිස්සෙම උත්සහ කරනවා...,
"..මේ මිහිතලය මත ලස්සනම සත්වයා බවට පත්වෙන්න..."
එතකොට කඩ සාප්පු, ඇදුම් පැලදුම්, නවින පන්නයේ විලාසිතා, භෞතික භාණ්ඩ ආදිය ගෑණු මිනිස්සු දෙගොල්ලන්ගෙම.. ඇත්තටම ඒවා දකිද්දී තමයි තේරෙන්නෙ මිනිස්සුන්ට මේ තරම් සල්ලි තිබිලත් හම්බ කරලත් ඇයි මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න මේ තරම්ම අමාරු කියලා.. මිනිස්සු හැමෝම වයිවාරන රොඩුබොඩු වලට රැවටිලා.. එතකොට මම??මම මගෙන්ම අහනවා, මන් පවා මගේ ප්‍රතිපත්ති පාවා දෙමින් මේ මුලාව තුල හිරවෙලා නේද කියලා..
අනික මේ ලෝකේ කොයිතරම් බෙදීම් තිබුනත් මගේ බෙදීම නම් ඒ; බුද්දිමතුන් සහ බුද්ධිය හීන අය කියලා.. බුද්ධිය හීන ලෙස සලකන සමහරක් ගෑනු ඉන්නවා තොල් පවා තද රතු කරගෙන තොරතෝංචියක් නැතිව මහා කයිවාරු ගහන... උන්ගෙ ඔලුවල තිබුනෙම හෙන බොලඳ කතන්දර.. ඒවා කවදාවත් අත්පත් කරගන්න බැරි දේවල් ගැන.. මේ ලෝකෙ නොපවතින සැපතක් ගැන හීන මවන එකයි උන් කලේ.. හැබැයි මේවා ෆැන්ටසි විතරයි කියල තේරුම් ගන්න මිනිහෙක්ට අසාමාන්‍ය ලොකු බුද්ධියක් තියෙන්න ඕන වුනේ නෑ.. ඒ කොහොම වුනත් බොහෝ විට ශ්‍රේෂ්ඨ පරිකල්පනා ඇතිවෙන්නෙ සමාජයක් තුල සුලුපිරිසකට විතරයි.. ඒ නිසා ඒ ගැන පුදුම විය යුතුත් නෑ.. උන් කියවන්නෙ හෙන ගොන් පෙම් කතා, එක්කො කෝටිපත් නිලියක් ගැන, වහවැටෙන සුරූපිනියක් ගැන, එහෙමත් නැත්නම් එක රැයකින් කෝටිපතිනියක් වුනු ගායිකාවක් ගැන.. උන්ට තිබුනු ලොකුම ප්‍රශ්නේ තමයි තමුන් වයසට ගිහින්ද, මූන රැලි වැටිලද, අලුතෙන්ම ආපු ෆැශන් මොනවද, කාලය විසින් ශරීරය කා දමන එක තමන්ගේ ක්‍රීම් වලට වලක්වන්න පුලුවන් ද....? මට හිතෙන විදිහට මුන්ගෙ මිනිස්සු පවා ව්‍යාපාරික හවුල්කාරයෝ වෙන්න ඕන.. මේ මිනිස්සු කතා කලේ උන් දිනාගත්තු ගෑනු ගැන.. උන් තමන්ගෙ කාලේ කෑවේ උන්ගෙ හොර ගෑනු එක්කලා.. මුන් හිතනවා ඇත්තෙ මේ සමාජේ පරදාර සේවනය, පරපුරුශ සේවනය තමයි ඉහලම සුචරිතය කියලා..!
හැමතැනකම දුරාචාරය, සල්ලාලකම.. ටීවි එකේ, සිනමාවේ, සඟරාවේ.. හැම තැනම.. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, මිනිස්සු ඉල්ලන නිසා.. ඊනියා දියුණුවේ බුද්ධි ප්‍රභාව අත්පත් කරගත්ත මනුස්සයා තමන්ගෙ ඉලක්කය සපුරාගෙන තියෙනවා.. අපිත් ඇවිල්ලා අනිත් හැම ජාතියක් වගේම තවත් එක ජාතියක් වෙලා.. උන්ගෙ ආත්ම වලට උන් කවන ගොම වලින්ම තමයි අපිත් අපේ ආත්ම පෝෂණය කරගන්න අරගෙන තියෙන්නෙ.. අපි දැනටමත් අපේ පරම්පරාව හදනවා, දුරාචාරයට යොමු වන විදිහට..
දහසකුත් ප්‍රශ්න, කරදර, ජරමර මැද මන් මගෙන්ම අහනවා; මේ භෞතික ලෝකය සමන්විත වන්නෙ මොනවයින්ද? මේ ඔක්කොම සල්ලිවලිනුත් මිනිස්සු ලබාගත්ත දේ මොකක්ද? කන්න බොන්න විතරක් නම් මිනිහෙක් මේ තරම් පොහොසත් වෙන්න ඕනෙද?
ඇත්තටම මේ සමාජෙ හරි අමුතුයි.. එක දෙයක් නම් පැහැදිලියි.. වචන වලින් නම් මිනිහට කිසි අඩුවක් නෑ..... මන් වාඩිවෙලා හිටියෙ හන්දියේ කඩේක එලියෙ බංකුවේ.. මම නම් හිතන්නෙ මේ ඔක්කොම ඇවිල්ලා අති විශාල කාමුක, සෙල්ලමක අනිවාර්යය අංගයක් විතරයි... නේද..?
"ඔහු" සහ "ඇය" අතර රඟ දක්වන නිමක් නැති නාටකයේ අනිවාර්යය ජවනිකාවක් විය යුතුයි "ජීවිතය"
-සඳලි කොස්තා-

"නූතන මනුස්සයා මේ තරඟය කියන එක ඒජට නොගැලපෙන තැන්වලට පවා එන්නත් කරලා"
ReplyDeleteඅනිවාර්යයෙන් ම
🖤
Delete👌👌👌👌
ReplyDeleteනූතන මනුස්සයා මේ තරඟය කියන එක, ඒකට නොගැලපෙන තැන්වලට පවා එන්නත් කරලා..
ReplyDelete🖤
Delete😍
ReplyDelete