Monday, 14 November 2022

මා නො:වන "මම"


කෙල්ලක බිරිඳක වෙන්නැයි

සාරිවලින් සැරසෙන්නැයි

උහු කීයෙහු

“ගෙත්තම්කාරියක වෙන්න

අහර පිසින්නියක වෙන්න

මෙහෙකරුවන් සමග නිතර

දබර කරන්නියක වෙන්න”

“අනේ සුදෝ වෙනස් වෙන්න”

වර්ග කරන්නෝ ඇවිදින් මොර දුන්නෝ

“තාප්ප මත ඔහේ වාඩි වෙන්න එපා

ජනේල තිර තුළින් එබී බලන්නෙපා”


“'ඇමී' වෙන්න – 'කමලා' වෙන්න

තව තව හොඳ වී 'මාධවිකුට්ටි' වෙන්න

කාලය හරි

නමක් භූමිකාවක් හෙම තෝර ගන්න”


“විකාර සෙල්ලම්වල නියැලෙන්න එපා

භින්නොන්මාදෙන් වාගේ ඉන්න එපා

කාමිනියක වෙන්න එපා

ආදරයක් බිඳුණු විටෙක

ලජ්ජා සහගත විදියට

සද්ද නගා අඬන්නෙපා.........”


.........මට මිනිසෙක් මුණ ගැසුණෙය

ඔහු හට ආදරය කළෙමි

ඇමතූ මුත් මා ඔහු ඒ

කිසියම් නාමෙකින් නොවෙයි


මා මෙන් ආදරය සොයන

ඕනෑම ගැහැණියක අවැසි

ඕනෑම මිනිසෙක් විය ඔහු !


ගඟක පිපාසිත ඉක්මන විය ඔහු තුළ

මුහුදක වෙහෙසින් තොර බව විය මා තුළ


සියළු දෙනම අමතා මම

ඔහු කවුරෙක්දැයි ඇසුවෙමි

“ඒ මම” පිළිතුරක් ලැබිණි


සියල් තන්හි සොයා බලා

මේ ලොව තුළ “මම” යනුවෙන්

තමා හඳුන්වා දුන් ඔබ දැක ගත්තෙමි

කොපුවක ලූ කඩුවක් මෙන්

සිරව එතී ඔබ සිටියෙහි.


නුහුරු නගර – හෝටල්වල

රෑ දොළහට තනිවම බොන

“මම” ඔබ විය

සිනා නගන “මම” ඔබ විය

ආලය කර ලජ්ජා වන “මම” ඔබ විය

මියෙමින් සිටියත් උගුරේ බිඳුණු හඬින්

එසේ නැතැයි මුසා කියන “මම” ඔබ විය


ඔව්! පව්කාරිය ද මාය

සාන්තුවරිය ද මෙමාය

ස්නේහවන්තිය ද එසේම

පාවා දෙන්නිය ද මාය


ඔබේ නොවන කිසි සතුටක් හිමි නැත මට

ඔබේ නොවන කිසි දුකකුත් හිමි නැත මට

මම ද සබඳ මා හට “මම” යැයි අමතමි......


-Copied 

[ඉන්දියානු ජාතික Kamala Das කිවිඳිය (1934 - 2009) ගේ“ An Introduction” නමැති කවියේ පරිවර්තනය]


Sunday, 25 July 2021

පෘතග්ජන !!


මා ඈ දකින විට ලොව සියල්ල එකම මොහොතක ආලෝකයකින් ඒකාලෝකමත් වී මිනිත්තු භාගයකින්,එක් නිමේශයකින් සියල්ල එක තැන නතර වූවා සේද,නතර නොවුනු එකම මානවයන් දෙදෙනා ඇයද මාද පමණක් ම බව මට සිතුනි.එක් නිමේශයකින් සියල්ල යථා තත්වයට පත් වූ අතර ඇත්තවශයෙන්ම නතර ව සිටියේ මා වටා ඇති සමස්තය නොව මා බවද මට අවබෝධ විය.


ලයනල්වෙන්ට් පුර දොර අසලදී මට හමුවුන ඈ සැබැවින්ම මිහිබට දෙව්ලියක විය.පුරුෂ හදවත් ප්‍රේමයෙන් දවාලන්නටත් රාගයෙන් මුසපත් කරන්නටත් සමත් ඈ ක්ලියොපැට්‍රාවක් විය.අනංගයාගේ බිරිද රතී දිව්‍යාංගනාව බදු විය.ග්‍රීසියේ වීනස් දෙව්දුව ඈ හා සම කරන්නට ඒ මොහොතේ මා පසුබට නොවූ බව මා කිව යුතුමය.


හංස රාජිනියක් බදු ඇගේ දිගුවන් ගෙලද දීප්ත කාලවර්ණයෙන් බැබලුනු ඇගේ දිගුවන් වරලසද කියා පෑවේ සැබෑම පංචකල්‍යානයයි.


එදා ලයනල්වෙන්ට් හී මට හමුවුනු ඈ කාලයාගේ ඇවෑමෙන් මාගෙ බිරිද වූ අතර මට දාව උපන් දරු දෙදෙනෙකුගෙ මවද විය.ඈ හා විවහ වූ දා සිට මෙ දක්වා කාල පරාසය තුල මා ක්ලියෝපැට්‍රාවකටද ,වීනස් දෙව්දුවකටද හංස රාජිණියකටද සමකල ඇගේ අතිමහත් රූපශ්‍රිය ඇගෙන් බිදෙන් බිද ගිලිහී ගියේ පරවුණු මල් කැකුලක පෙති බිදෙන් බිද ගිලිහී පොලොවට පතිත වන්නාක් මෙනි..තවමත් 27 වියැති ඈ තාරුණ්‍යය හා ජවයෙන් හීන වූ තැනැත්තියක වූවද ද මා ඇයට සාපේක්ශව බලන කල තාරුණ්‍යෙන් හා ජවයෙන් ආඩ්‍ය බව හැගුනු අවස්තා බොහෝය.එදා අතිමහත් සුන්දරව දුටු ඈ අද නීරස එකියක යැයි" හැගුනු අවස්තා බොහෝය.දවසේ පැය විසි හතර පුරාම ඇය දරුවන් පසුපස දුවමින්ද  ගෙදොර වැඩපල කරමින්ද දවස අවසානයෙ  ගැඹුරු නිද්‍රාවකට පත්වෙමින් ද දවස අවසන් කලාය..


හායි !අතිශය රූමත් තරුණියක මා ආමන්ත්‍රණය කරමින් මා අසල රැදී උන්නාය.දස වසරකට පෙර මා බිරිදගෙ ඉහත කී මතකාවර්ජනය එක් නිමේශයකින් සිද බිද දමන්නට, අද ලයනල්වෙන්ට් හී මට මුනගැසුනු සුකුමාලිය සමත් වුවාය..


දෙවියනි! ඈ නම් පින්නෙ පිපුණු මලක් මෙන් චමත්කාරජනක විය.අතිශය සුන්දර ඈගේ දෙනෙත් නීල මාණික්‍යන් බදු විය.මෙවැනි රූපශ්‍රීයක් මා කෙදිනකවත් දැක ඇද්ද යන්න මට නිනව්වක් නැත.මෑ අතිශය රූමත් අතිශයෝක්තියෙන් වර්ණනය කල හැකි වූද කවියක් බදු වූද,අහ්ලාදජනක ලලනාවක් විය.නැවත පියවි සිහියට පැමිනි මා..


හායි! කවුද ඔයා?මද සිනාවක් පාමින් මම ඇගේ කිරිගරුඬ පැහැ දෑත් සෙමෙන් අල්ලාගනිමින් විමසුවෙමි !!


 - සදලි කොස්තා-

Monday, 19 July 2021

ෆැන්ටසියක කෙලවර සැබෑව !!

 


                 ස්ත්‍රිවාදි fantasyය "


ස්ත්‍රියකගේ ආශාව කුමක්ද? එයට සෘජු පිලිතුරක් ලෙස මෙලෙස සූත්‍රගත කල හැක..ඇගෙ ආශාව ශුද්ධ ආශාවයි !(Pure Desire).එනම් හිස්බවයි !(Nothig).මෙම හිස්බව ඇගේ බාහිර අනෙකාට පමණක් නොවේ ඇයට පවා දරාගත නොහැක්කකි.පුරුෂයෙකු ෆැන්ටසි කරන්නෙ මෙම හිස්බව පුරවාලීමටය.එනම් එය අර්ථයක් මගින් පිරවීමට හෝ මෙම හිස්බවට කුමක් හෝ හැගීමක් ලබා දීමටය.ඒ අනුව මෙම ෆැන්ටසිය මගින් පුරුෂයා ස්ත්‍රියකගෙ ආශාව කුමක් දැයි නම් කර ඊට දිශානතියක් හා හැගවුම්කරණයක් ලබා දෙයි.බොහෝ වෙලාවට පිරිමියා අබල දුබල හෝ මිය යන්නෙද මේ නිසාය..


ආශාව ගැටලුවක් නම් ෆැන්ටසිය ඊට පිලිතුරයි !ෆැන්ටසියෙ මූලික ලක්ශනය වන්නෙ එහි "අප සිතන දේ ඒ ආකාරයෙන්ම සිදු වීමයි.."එහිදි අපගෙ සිතුවිලිවලට අනූව ෆැන්ටසිය සහ බාහිර යථාර්තය එකකි.ආශාවෙ අඩුව නිසා එය ක්ශතියක් වන මුත් ෆැන්ටසිය තුල කිසිදු අඩුවක් නැතිව සිතන සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවේ.ෆැන්ටසිය ආශාවේ උගුලින් පැන යාමට ප්‍රයත්න දරන මුත් ඊට ඉන් සම්පුර්ණයෙන් ම ගැලවිය නොහැක.


ස්ත්‍රියකගෙ මෙම ෆැන්ටසිය ගත් විට සුන්දර ලෙස තම ශරීරය විලාසිතාවලින් දවටාගෙන සිටියත් ධනවාදී වෙලෙදපොලෙහි බඩු භාණ්ඩවලින් පුරවාගෙන  සිටියත් එපමනින් ඔහුට ස්ත්‍රියකගේ ආශාව දැල්විය නොහැක.මෙ නිසා ෆැන්ටසිය එහි උච්ච ස්ථානයකට විත් කඩා වැටෙයි.මෙ නිසාම ස්ත්‍රිය තම ජිවිතයේ නිස්සාරත්වය පිලිබදව  නිතර දොඩයි. ඇතැම් ස්ත්‍රීන් තම විවහක ස්වාමියාට තමාගේ ආශාව සාලකුනු කර ගැනීමට නොහැකිව වියැකී ගිය කල්හි,තමා වටහාගත හැකි පිරිමියෙක් දෙසට හැරෙයි.

විනෝදය ඉතිරී ගලන සමකාලීන පරිභෝජන ධනවාදී සමාජයක් තුල මෙය කෙතරම් දුරට ගමන් කරනවාද යන්න කියතොත් අප අවට පවතින සමාජ යථාර්තය හා ෆැන්ටසි යථාර්තය අතර වෙනස පවා අතුරුදහන් වෙයි..මත්පැන් මත්ද්‍රව්‍ය,සල්ලි,කාමය,රාගය,සංගීතය,න‍ර්තනය,නියෝන් ආලෝකය,විශාල ශරීර ඇති තිරිසනුන් මෙන් හැසිරෙන පිරිමින් දක්නට ලැබෙයි..බොහෝ විට මෙවැනි සමාජයක් තුල ස්ත්‍රියගෙ ජිවිතය නිශාචරය.ඒවා බොලිවුඩය හෝ හොලිවුඩ් හී පෙන්වන ආකාරයේ විදුලි කෙටීම් සහිත අසමාන පෙම්කතා නොවෙති.(එහිදී සිදුවන විදුලි කෙටීම් හමුවෙ පෙම්වතා හෝ පෙම්වතිය එකතු වේ නැතිනම් වෙන් වේ..ප්‍රේක්ශයා සතුටින් හෝ දුකින් පිටව යයි.)එ කෙසේ වුවත් සමකාලීන ෆැන්ටසිමය යථාර්තය තුල පිලිබිඹුව ඊට හාත්පසින්ම වෙනස් ය.ස්ත්‍රි හිතවාදී විචාරකයා මුසුප්පුවන ලක්ශය අපට හමුවන්නෙ ඉහත දැක්වූ තිරිසනුන් මෙන් හැසිරෙන පිරිමියා එක්තරා මොහොතකට පසු ස්ත්‍රී ශුද්ධ ආශාව( Pure Desire)විසින්ම ඉල්ලා සිටින තත්වයක් වීම ගම්‍ය වන නිසාය.නමුත් ස්ත්‍රීන් ඉදිරියේ පිරිමින් කුමන ආකාරයකට(ලිංගිකත්වයේදී) හෝ ප්‍රචණඩ වීම පිලිබද අදහස තවමත් සදාචාරවාදිය.ඊට අනූව "පිරිමියා"ස්වභාවිකවම සෑදි ඇත්තේ ප්‍රචණ්ඩවීමටය.මෙහිදි ස්ත්‍රිය තමන්ගෙ චිත්ත විශාදයෙන් ගැලවෙන්නෙ ම පිරිමියා විසින්  නිකුත් කරන ප්‍රචන්ඩකාරීත්වය හමුවෙය.නමුත් ඉන් ස්ත්‍රියගේ  "ආශවේ ප්‍රෙහෙලිකාව" පූර්ණව විසදිය නොහැක.ඉහත දැක්වූ තිරිසනුන් මෙන් පිරිමින් ස්ත්‍රීන්ගේ ආශාවේ ගැටලුව විසදීමට පැමිනීමෙන් ගම්‍ය වන්නෙ ඔවුන් ඒ කාර්‍ය සදහා වඩාත් සුදුසු බව නොව ඔවුන් එ ගැන හැගීමක් හෝ ඇතිකරන නිසාය.ඒ අනුව ප්‍රචණඩත්වය තුල සැබෑ විකාර සහගත ගොදුර පුරුෂයා මිස ස්ත්‍රිය නොවේ.මෙම තත්වය සාම්ප්‍රදායික ස්ත්‍රිවාදීන්ව සසල විය හැකි තත්වයකි.

විනෝදය ගලන සමාජයක් තුල ෆැන්ටසිය සහ යථාර්තය අතර වෙනස අතුරුදහන් ව ගොස්ය.ස්ත්‍රිය !ඇගේ ශරීරය කෙරෙහි කෑදර සහ කාමුක ලෙස ආශක්ත වන ,විනෝදය පමනක් දත් පිරිමින් ඇගේ ශරීරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරති,මිනීමරාගති.නමුත් අප වටහාගත යුත්තේ පුරුෂයාගේ මෙම ප්‍රචන්ඩත්වයට අරුතක් ඇති බවයි.මෙම ප්‍රචණඩත්වය නැති විට  "ස්ත්‍රියගෙ ආශාවට"අර්ථයක් ලගා කරගත  නොහැකිය.ජිවිතය,කාමය රාගය,මත්ද්‍රව්‍ය උතුරා ගලන්නෙ ඒවා වටහාගත නොහැකි ස්ත්‍රී ආශාවට උත්තර බදින නිසාය.සමකාලීන ප්‍රේම සබදතාවල පෙම්වතා හා පෙම්වතිය අතර වචන අඩු වී ඇත්තේ ඔහු ඇගේ ආශාව "සංකේතියව" නම් කිරීමට නොදන්නා නිසාය.අප තේරුම්ගත යුතු යථාර්තය වන්නෙ අප දකින යථාර්තය නම් චිත්‍රයේ කැන්වසය යටින් දිවෙන "අශ්ශීල ලෝකයයි."අපගේ පරමාදර්ශී ලෝකයට  අශ්ශීල පිටපතක් අනිවාර්යයෙන් පවතියි.ඒ අනූව එතුල ස්ත්‍රීන් "සදාචාර නොවිය" යුතුයැයි ෆැන්ටසිකරණය කරන පිරිමින්ගේ ලොකුම බලාපොරොත්තුව වන්නේ "සදාචාරවත්ම ගැහැණිය" වන බව සියලු ගැහැණුන් දත යුතුය.!!


                                                (සදලි කොස්තා)

Wednesday, 23 June 2021

ඉදහිටක උබ සිහිවෙද්දි පපුව හිරවෙනවා!!


හම්බවෙන්නෙවත් නෑ දැන්

ඒත්,දුර ඉදන් මන් බලනවා

අඩන්නෙ නම් නෑ දැන්

මැරුණ තාලෙට ඉන්නවා

වැටෙන්නෙත් නෑ දැන්

ඒත්,මන් හොදට බොනවා

බිව්වත් කවි ලියන්න බෑ දැන්

ආදරේ උගුරට ම එනවා..!

         

 -සද:ලි-




Saturday, 15 May 2021

පළමු මංගල රැය !!

 හතරවටේටම ණයවෙලා

මහගත්ත ඇදුම්

විසිකරලා 

අහකට,

දවසම නොකා නොබී

මුනිච්චාවට හිනාවෙලා

නටලා කරලා

තෙහෙට්ටුවට,

කිසිදෙයක් නොවුනු

ගානට..

කාලා බලලා

නොහදුගත්ත

මිනිහෙක් ඉස්සරහ,

කකුල් දෙක පලල් කරලා

කුලවත්ව,

සුදු ඇතිරිලි උඩ

රතු ඇහිරෙන

වංසවත්,

"පළමු මංගල රැය "

-සදලි-






   



Sunday, 7 March 2021

මම දැකපු ලෝකය !

 


මං ආස්සරේ කලේ එකම විදිහක උන්ව.. යන්නෙ එන්නෙ එකම තැන්වල.. කියවන්නෙ එකම ආරෙක පොත්.. මෙතනින් එහාට ජීවිතයක් නෑ.. ඉතින් මං පලා යා යුතුයි..!


    පලා යා යුතුව තිබූ දේවල් බොහෝමයක් තිබුනා.. ඒත් කොහේ කියා පලා යන්නද..? මෙතනින් ගැලවීමක් නෑ.. සමාජය කියන මඩ ගොහොරින්, මිනිහා පලා යාම තමයි ඔහු ජීවිතය තුල ලබන ලොකුම ජයග්‍රහණය. මම මටම නිතරම කියා ගත්තේ ඔය කාරණාව.. මේ ජීවත් වීම තුල මා මගේම ප්‍රතිපත්ති කඩා දමපු අවස්තා අනන්තයි...


    මුල් දවස්වල නම් ඇත්තටම මට මිනිස්සුන්ව අදුරගන්න උමනාවක් තිබුනෙ නෑ, ඒත් ජීවිතේ වෙච්ච හැල හැප්පිම් එක්ක, කලකිරිම් එක්ක, වෙන්වීම්, මගහැරීම්, අත් හැරීම් එක්ක මට ඕනේ වුනේ මනෝ මනසිකාරය දියුණු කරන් විශුද්ධි මනැසකින් කාටත් බාධාවක් නොවී පාඩුවෙ ජීවත් වෙන්න.. ඇත්තටම ඒක තමයි මෙලෝම රහක් නැතිව ජීවිතේ ගෙවපු කාලේ...


   පාරවල් දිගේ මම ඇවිද්දා, ආසම තැන්වල නතර වුනා, මිනිස්සු අදුරගත්තා, කතා බහ කලා, ටවුමේ කඩේ කට ගොඩවෙලා ප්ලේන් ටී එකක් බිව්වා, ඒ ඒ තැන්වල හිටපු මිනිස්සුන්ගේ තොරතෝංචියක් නැති කතන්දර අහගෙන හිටියා, උන් දිහා බලන් හිටියා.. තව පත්තර කියවන කම්මැලිකාරයෝ දිහාත්, රැයක් දවාලක් නැතුව නොකා නොබී අව්වට කරවෙච්ච වැස්සට තෙමෙන එදා වේල හම්බකරන්න නහින මිනිස්සු, අතපය හොදට තියාගෙනත් තමන්ගෙ ආත්ම ගෞරවය තව එකෙක්ගේ දෙපා මුලට යට කරන මිනිස්සු දිහාත් මන් බලාගෙන හිටියා..


    ඔය අතරෙ ටිකක් ඇහැට කනට පේන් ගෑණියෙක් පාරෙ ගියොත්; මිනිස්සුන්ගේ ඇස් එලියට වැටෙන්නෙ හරියට ගෑනියෙක් එක්කලා කල්ප ගානක් ඉදලා නැති රතී කාමයෙන් මුසපත් වුනු ගානට... සමහරක් වුන්ට ගෑණු පරානයක් දැක්ක ගමන් කඩි කුලප්පුව..! පස්සෙ ඉතින් අර ගෑනි විසපොයින්ට් වුනහම තමයි දොන් ජුවන්ලා වෙන්න හිතන් හිටපු උන් ටික පියවි සිහියට එන්නේ.. නැත්නම් ආයෙත් සිගරට් කොටේට, නැත්නම් පත්තර කෑල්ලට බහින්නෙ..


    අර කතාවක් තියෙනවනෙ ඉතින් චීත්තෙකට චීත්ත කතාවක් කියන්නෙ චීත්තයක්මයි කියලා.. ඒ ගෑණි දකින අනිත් ගෑණු එකතු වෙලා, ඒ ගෑණි දිහා බලලා, එක එක නින්දිත කතා ගොතනවා.. එක්කො ඒ ගෑණි මහත වැඩීලු.. එක්කො පපුව හරි ලොකුයිලු.. පස්ස පලල් වැඩිලු.. ඇදුම අන්තිමයිලු.. 


     ඇත්තටම ගෑණුන්⁣ගෙ තත්වේ ඕකයි.. උන් දන්නවා තමන්ගෙ මිනිහට තව හුඟක් ගෑණු ඉන්න බව.. නැත්නම් හිටපු බව.. නැත්නම් තමන්ගෙ මිනිහා වෙන ගෑණියෙක් එක්කලා යන්න ඉඩ තියෙන බව.. දැන් ඉතින් මේ ගෑණිට ඕන කරනවා අනිත් ගෑණු එක්කලා තරඟ කරන්න.. තරග කරලා ඒ ගෑණු පරද්දන්න.. උන් පරයා යන්න.. නූතන මනුස්සයා මේ තරඟය කියන එක, ඒකට නොගැලපෙන තැන්වලට පවා එන්නත් කරලා.. මේ හේතුව නිසා ගෑණි හැම තිස්සෙම උත්සහ කරනවා...,


"..මේ මිහිතලය මත ලස්සනම සත්වයා බවට පත්වෙන්න..." 


     එතකොට කඩ සාප්පු, ඇදුම් පැලදුම්, නවින පන්නයේ විලාසිතා, භෞතික භාණ්ඩ ආදිය ගෑණු මිනිස්සු දෙගොල්ලන්ගෙම.. ඇත්තටම ඒවා දකිද්දී තමයි තේරෙන්නෙ මිනිස්සුන්ට මේ තරම් සල්ලි තිබිලත් හම්බ කරලත් ඇයි මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න මේ තරම්ම අමාරු කියලා.. මිනිස්සු හැමෝම වයිවාරන රොඩුබොඩු වලට රැවටිලා.. එතකොට මම??මම මගෙන්ම අහනවා, මන් පවා මගේ ප්‍රතිපත්ති පාවා දෙමින් මේ මුලාව තුල හිරවෙලා නේද කියලා.. 


     අනික මේ ලෝකේ කොයිතරම් බෙදීම් තිබුනත් මගේ බෙදීම නම් ඒ; බුද්දිමතුන් සහ බුද්ධිය හීන අය කියලා.. බුද්ධිය හීන ලෙස සලකන සමහරක් ගෑනු ඉන්නවා තොල් පවා තද රතු කරගෙන තොරතෝංචියක් නැතිව මහා කයිවාරු ගහන... උන්ගෙ ඔලුවල තිබුනෙම හෙන බොලඳ කතන්දර.. ඒවා කවදාවත් අත්පත් කරගන්න බැරි දේවල් ගැන.. මේ ලෝකෙ නොපවතින සැපතක් ගැන හීන මවන එකයි උන් කලේ.. හැබැයි මේවා ෆැන්ටසි විතරයි කියල තේරුම් ගන්න මිනිහෙක්ට අසාමාන්‍ය ලොකු බුද්ධියක් තියෙන්න ඕන වුනේ නෑ.. ඒ කොහොම වුනත් බොහෝ විට ශ්‍රේෂ්ඨ පරිකල්පනා ඇතිවෙන්නෙ සමාජයක් තුල සුලුපිරිසකට විතරයි.. ඒ නිසා ඒ ගැන පුදුම විය යුතුත් නෑ.. උන් කියවන්නෙ හෙන ගොන් පෙම් කතා, එක්කො කෝටිපත් නිලියක් ගැන, වහවැටෙන සුරූපිනියක් ගැන, එහෙමත් නැත්නම් එක රැයකින් කෝටිපතිනියක් වුනු ගායිකාවක් ගැන.. උන්ට තිබුනු ලොකුම ප්‍රශ්නේ තමයි  තමුන් වයසට ගිහින්ද, මූන රැලි වැටිලද, අලුතෙන්ම ආපු ෆැශන් මොනවද, කාලය විසින් ශරීරය කා දමන එක තමන්ගේ ක්‍රීම් වලට වලක්වන්න පුලුවන් ද....? මට හිතෙන විදිහට මුන්ගෙ මිනිස්සු පවා ව්‍යාපාරික හවුල්කාරයෝ වෙන්න ඕන.. මේ මිනිස්සු කතා කලේ උන් දිනාගත්තු ගෑනු ගැන.. උන් තමන්ගෙ කාලේ කෑවේ උන්ගෙ හොර ගෑනු එක්කලා.. මුන් හිතනවා ඇත්තෙ මේ සමාජේ පරදාර සේවනය, පරපුරුශ සේවනය තමයි ඉහලම සුචරිතය කියලා..!


     හැමතැනකම දුරාචාරය, සල්ලාලකම.. ටීවි එකේ, සිනමාවේ, සඟරාවේ.. හැම තැනම.. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, මිනිස්සු ඉල්ලන නිසා.. ඊනියා දියුණුවේ බුද්ධි ප්‍රභාව අත්පත් කරගත්ත මනුස්සයා තමන්ගෙ ඉලක්කය සපුරාගෙන තියෙනවා.. අපිත් ඇවිල්ලා අනිත් හැම ජාතියක් වගේම තවත් එක ජාතියක් වෙලා.. උන්ගෙ ආත්ම වලට උන් කවන ගොම වලින්ම තමයි අපිත් අපේ ආත්ම පෝෂණය කරගන්න අරගෙන තියෙන්නෙ.. අපි දැනටමත් අපේ පරම්පරාව හදනවා, දුරාචාරයට යොමු වන විදිහට..

    

     දහසකුත් ප්‍රශ්න, කරදර, ජරමර මැද මන් මගෙන්ම අහනවා; මේ භෞතික ලෝකය සමන්විත වන්නෙ මොනවයින්ද? මේ ඔක්කොම සල්ලිවලිනුත් මිනිස්සු ලබාගත්ත දේ මොකක්ද? කන්න බොන්න විතරක් නම් මිනිහෙක් මේ තරම් පොහොසත් වෙන්න ඕනෙද?


     ඇත්තටම මේ සමාජෙ හරි අමුතුයි.. එක දෙයක් නම් පැහැදිලියි.. වචන වලින් නම් මිනිහට කිසි අඩුවක් නෑ..... මන් වාඩිවෙලා හිටියෙ හන්දියේ කඩේක එලියෙ බංකුවේ.. මම නම් හිතන්නෙ මේ ඔක්කොම ඇවිල්ලා අති විශාල කාමුක, සෙල්ලමක අනිවාර්යය අංගයක් විතරයි... නේද..?


     "ඔහු" සහ "ඇය" අතර රඟ දක්වන නිමක් නැති නාටකයේ අනිවාර්යය ජවනිකාවක් විය යුතුයි "ජීවිතය"


                                                           -සඳලි කොස්තා-



Thursday, 4 March 2021

ශේක්ස්පියර් නිවැරදිය !

 



         ඔයා මාව දාලා යනවද ??


 සම්පුර්ණ කතාවම මම නොකියමි.ඇරත් එය දිර්ඝය..වේදනාබරය...

   අදත් මාගේ කතාව මතක් වෙද්දි ,සිතද්දි,කියද්දි  මා තුල ඇති කරන කම්පනය හා ව්ක්ශිප්තතාවන්ගෙන් තවමත් මා මිදී නැත,තුවාල ලත් මුවෙකුගේ නිරාහාර සිංහෙයෙකුගේ වේදනාව,යුක්තිසහගත කිරී මේ හැකියාව ක් නොපවතින බව මම මටම කියා ගතිමි,සෑම වේශයකම දුක් වේදනාවල් වලට ගොදුරු වීමට හැකි ශරීර කූඩුවක් අප තුල ජිවත් වන තාක් පැවැත්මේ වයවසනය නිවාරනය කල හැකිය..."ආදරය "සෑම ජිවියෙකුගේම ජීවිතයේ පලා යා නොහැකි ආශාව න් හා රාගයන් පවතී,මිනිසෙකුට මේවායින් මිදී ආධ්‍යාත්මිකව ජිවත් වීම කල නොහැකි තරම්‍ ය,ඉතින් ඔබට මාට ද එසේමය,ලව්කිකත්වයෙන් පලා යා නොහැක.

මා ඔහු හමුවූ තැන අදටත් මා තුල සිහිවටනයකි,කෙනෙක් එහි යනවා නම් තමන්ට වුවමනා හැම කෙනෙකුම කවදාක හෝ එතනදි හමුවේවි යැයි මම පතමි,එදා සිට මා කෙරෙහි වූ ඔහුගේ සෑම ස්පර්ශයක් ම සැහැල්ලු ය,ආදරනීයය,මා ඔහු දකින විට ඔහු රැවුල වවා තිබුනි,කොන්ඩයද තරමක් වැවී ගොස්ය ,ඔහු ශක්තිමත් ය,දරදඬු ය,එහෙත් ආදරයේදී නම් ඔහු මුදුය,මොලොක්‍ ය,සියුමැලිය,

අපේ හමුවීම හාස්කමකි,එහෙත් විශ්වසය කෙනෙක් තුල නැත්නම් හාස්කම් ඔහුට නොපෙනේ,හැමදේටම පිලිතුර "අහම්බයයි",මනුස්සයා අහම්බයකි,එවැනි මිනිසුන්ගෙන් සෑදුනු ලෝකය අහම්බයකි, එම මිනිසාට සිදුවන සියල්ල අහම්බයකි..එබැවින්ම අපේ හමුවීමද වෙන්වීමද මම අහම්බයට පවරමි..

 මා අද සිටින තත්වය දෙස බලන විට,මේ සියල්ලම විකාර ලෙස පෙනෙන්නේය,ආදරය කිරීම,ආදරය විදීම,ප්‍රලාප දෙඩවීම,බොලද පෙම් බස් දෙඩීම,ඊනියා හැසීරිම්වල යෙදීම....ඇත්තටම මිනිස්සුන්ට ඕන කලේ මොනවද ??ඕන කල දේ ඒ තුලින් ඔවුනට ලැබුනද ??යන්න තවමත් ප්‍රශ්නයකි...නමුත්

"ජිවිතය ප්‍රහෙලිකාවක් නම් ඇතැම් දේවල් අපිට අනුමාන කිරීමට සිදුවේ,"එලෙස සිතා මා විසින්ම ඒවාට පිලිතුරු අනුමාන කරමි...    



   යම් දෙයක් දුක නම් අපි අඩමු,යම් දෙයක් ලස්සන නම් අපේ නෙතට ඒත කදුලක් නැගේ,යමක් විකට නම් කැත නම් අපි හිනාවෙමු,ලස්සන ආස දෙයක් වුවද අපට එය දුටු විට කදුලු එන්නෙ එය සදාකාලික නොවන බව දන්නා නිසා විය හැකිය,

ආදරයද එසේමය,සදාකාලික නොවන ලෝකයක් තුල සදාකාලික ප්‍රේමයක් සෙවීම නිශ්පලය,විටෙක එය විහිලුවකි,එබැවින් මම මෙලෙස භාවාතිශය ජීවිතයෙන් මිදී මාගේම බුද්දියට කබුරන්නෙය,එය මාගේ සිත නිවීම සදහාය...


 ස්වභාව ධර්මය තුල සෑම දෙයක්ම විනාශයට පත්වේ,ජිවිතයද අප යම් දර්ශනයකින් දැකිය යුතුය,කන්දක් වුවත් ස්වාභාව දර්මයේ බලවේගවල බලපෑමෙන් ක්‍රමයෙන් පස් හා වැලි බවට පත්වී,පසුව නැතිවී යයි... ජිවියාද එසේමය,කීසිවෙකුත් සැමදා සිටියේ නැත,ඇතිවී නැතිවී ගියා පමනි..


ආදරයද පිවිතුරුය,සදාචාරයවත්‍ ය,භක්තිමත් ය,ගව්රවනීය ය,දේවියන්ගේ දර්මයේ සදහන් පරිදි ලිංගික අංග කියනුයේ ශුද්ධ ගිවිසුමේ නියතිය,එනම් "කබාලා"දර්මයේ සදහන් ආකාරය ට දෙවියන්ගේ ප්‍රතිරූපය ලිංගික ඉන්ද්‍රියන්ගෙන් නිරූපනය වේ,එපමනක් ද නොව ආදරයද,ආත්මාර්ථකාමීත්වයෙන් අයිතිකර ගන්නක් නොවන බව ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම බුදුන් පවා පවසා ඇත...මාද එසේ සිතා අහිමි පෙම ගැන සාවදානව සිතමි...


අද ඔහු මා ලග නැති වුවද ඇතැම් විටෙක ඔහුගේ පපුව වේදානාවෙන් ගැහෙන බව මට දැනේ,එවිට මාගේද හිත කීරි ගැහී යයි,සමාජය නපුරුය,මාරාන්තික ය,බියකරුය,එබැවින්ම මට ඔහු පිලිබදව බිය ක් දැනේ,ලෝකය මෙතෙක් පාලනය වූයේ රැවටීමෙනුත් මුසාවෙනුත් බලයෙනුත්‍ ය,අදත් එය එසේමය,වෙනසක් නැත,


ම්නිිසෙකුට කොතරම් දේ දරාගත් හැකිද?වෙලාවකට මා පුදුම කරවයි,අසීමිත ආදරයත්,සෙනෙහසත්,කරුනාවත්,තේරුම්ගැනීමත්,දුකත්,සැපත් මා සමග බෙදා ගත්,මා විදි පුද්ගලා අද වෙනකෙකු සමග දීග කයි,නමුත් මා ඉවසීමෙනුත්, දරාගැනීමෙනුහ් බලා හිදී....


 එහෙත් මට ප්‍රශ්න යකි..විවහය කියනුයේ යල් පැන ගිය ආයතනයකි.ජිවිත කාලයටම එක් පුද්ගලයෙකුට පමනක් ආදරය කරන බවට ගිවිසුම් ගසන්නෙ කෙසේද???එය කීසියම් පිරිසකගේ අශිර්වාදය ලැබූ පමනින් ඇති පලේ කුමක් ද???අදවන විට මිනිස්සුන් ජීවත්වන්නේ විද්‍යාත්මක දැනුමෙන් මිසක් අවුරුදු දහස් ගනනක් පැරැණි සිරිත් විරිත් සම්ප්‍රදායන් තුල නොවේ, 


  ඒ කෙසේ වුවත් මම දනිමි,ඔහු මගෙන් දුර ගොස් ඇති බව,තමන්ගෙ  එකා කෙතරම් වැරදිකාරයෙක් වූවත් එවැනි අයෙකුට තිබෙන ආදරය බොරුවට මවා ගත්තක් නොවේ,එය සැබෑ ආදරයකි,සැබෑ ආදරය වයාජ අදරයෙන් වෙන්කර හදුනාගැනීමට ඕනෑම අයෙකුට හැකිය,


කෙසේ වුවත් ප්‍රේමය යනු කුමක් දැයි මම තවමත් නොදනිමි,ප්‍රේමයට මා ආදුනිකය,එහෙත් ඔහු නැති අඩුව මට තදින් දැනේ,එය වේදානාවකි,විටින් විට රිදුම් දෙන සුව නොවූ තුවාලයකි...

     

    අවසානයේ පැවැත්ම ගැන මා හට කිවහැක්කෙ මෙපමනකි...



"කෙනෙක් උපදී,නොදන්නා ලොවක් තුල,නොදන්නා රටක..නොදන්නා නගරයක...ඒ අයුරින් තමන්ගේ ජීවිතේ ප්‍රදාන භූමිකා රග දක්වන්නන් එහිදි ඔහුට මුනගැසේ,ඒ හමුවීම් අතර ඔහු ඇතැමෙක් තමන්ගෙ පුද්ගල භාවයේ ප්‍රදාන වීරයා බවට පත් කරගනී,


 ශේක්ශ්පියර් නිවැරදිය...

              "ලෝකය රගමඩලකි"


                                                    -සදලි කොස්තා-

Saturday, 20 February 2021

ස්ත්‍රීවාදී ෆැන්ටසිය !


             

                     (Symbolic violence)

"තනි තටුවෙන් පියාඹන්න"යන චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමාවත් , සමාජයත් අන්දෝලනයට ලක්කල සිනමා පටයක් විය.එක් අතකින් එය ස්ත්‍රී නිරුවත විවුර්තවම භාවිතා කල එක් සුවිශේශි අවස්තාවක් ද වේ.මෙය හුදු සදාචාරය පිලිබදව එපිටට නොගොස් "හොදද නරකද"වැනි තැනක නතර විය.

               

          ඒ අනුව "තනි තටුවෙන් පියාඹන්න"චිත්‍රපටය තුල වඩාත් හොදින් නිරූපනය වන්නේ "symbolic violence" නැතහොත් "භාශාව තුල පවතින ප්‍රචන්ඩත්වයයි."චිත්‍රපටයේ පවතින කතා සාරාංශය වන්නේ ශරීරයෙන් ස්ත්‍රියක් වන තැනැත්තියක් පිරිමි වෙස් ගෙන පිරිමියෙකු ලෙස රග දැක්වීමයි.ඇය පිරිමි රැකියාවක් කරන අතර ස්ත්‍රියක් ද විවහ කරගනී.යම් අහබු සිදුවීමක් නිසා ඇගේ මේ වෙස් මාරුව හෙලිවේ.මෙම සිදුවීමට ඇය අවට සමාජය ප්‍රතික්‍රියා දක්වයි..මෙම ප්‍රතික්‍රියාවලට ඇය(ඔහු)ප්‍රතිචාර දක්කවන්නේ සමාජය ඉදිරියේ නිරුවත් වීමෙනි..


                ඒ අනුව ඊනියා ශිෂ්ඨ සමාජයක් තුල ඇති සංකේතීය ප්‍රචන්ඩත්වය මෙ තුල ඉතා හොදින් නිරූපනය වේ.එනම්,තනි ස්වාභාව දර්මයක් තුල පවතින  ලෝකය බෙදා වෙන්කරන්නේ භාෂාව නැත්නම් සංකේත පද්දතිය තුලිනි.ආගම,ජාතිය,කුලභේද,වංශය,ලිංගය ආදී සංකේත ලෙස ලෝකය නම් කරනු ලබන්නේ සංකේත මගිනි.අලුත ඉපදෙන දරුවෙකුට සමාජයේ නීති රීති සම්ප්‍රදායන් හෝ චාරිත්‍ර අදාල නැත.ඒ නිසා දරුවාව ශිශ්ඪ සමාජයට ඇතුලත් කර ගැනීම සිදුකරන්නේ බාහිර සමාජයෙනි.එනම් ඒ ඉහත දැක්වූ සංකේතකරනය තුලිනි.නැත්නම් එය ලදරුවා තුලින් පැන නගින "ස්භාවික ක්‍රියාවලියක්" නොවේ.එය ස්වාභාව දර්මය තුල ඊට අයිතිව ජීවත්වන දරුවා මත "බලහත්කාරයෙන්" පටවන ලද බාහිර බලපෑමකි.


        ඒ අනුව" තනි තටුවෙන් පියාඹන්න" යන චිත්‍රපටය තුලද සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි.කතා නායිකාවගේ ස්භාවික ශරීරය ස්ත්‍රි එකකි.එමනිස ඇය භාශාව මගින් සමාජයට ඇතුලත් කර ඇත්තේ "ස්ත්‍රියක" ලෙසය.ඒ සමගම ඇගේ හැසිරීම ඇදුම් පැලදුම්ද තිරනය කරන්නෙ බාහිර පරිසරයේ ඉහත කියූ සංකේත මත භාශාව මුල් කරගෙනය.මෙම චිත්‍රපටයේ කතා නායිකාව විසින් පිරිමි වෙස් ගැනීම තුලින් ප්‍රතික්ශේප කරන්නේ ඉහත භාශාව මගින් ලබාදෙන අනන්‍යතාවය යි.භාහිර සමාජයේ සාම්ප්‍රදායික ව ලබාදෙන අනන්‍යතාවය ප්‍රතික්ශේප කරන ඇය ඒ වෙනුවට පිරිමි අනන්‍යතාවයක් තමා විසින්ම කැමැත්තෙන් නිර්මාණය කර ගනි.


       කතාවේ මුල් කොටසේදී ඇය පිරිමියෙකු ලෙස නිර්මාණය කරගත් අනන්‍යතාවය සාර්තක වූ නිසා එය ව්‍යාජ එකක් වුවත් එය සමාජය තුල  ව්‍යාජයක් ලෙස නිරාවරනය වන තුරුම එය සත්‍ය හා සාර්තක,සක්‍රීය එකක් ලෙස ක්‍රියාත්මක වේ.මේ කිසිම අවස්තාවකදී එය සමාජයට ගැටලුවක් නොවේ..නමුත් අහබුවක් නිසා ඇගේ නිවැරදි අනන්‍යතාවය හෙලිවීම තුල ඒ දක්වා ඇය ජීවත් වූ සමාජයම ඇයට එරෙහි වේ.ඒ සමගම "ඇය එම සමාජයට අනුගත විය යුතුය"යන්න බලකරයි. මේ අනුව ඇය එතෙක් එම සමාජයත් සමග ගෙන ගිය සියලු සාමකාමී සභදතා බිද වැටේ.ශිෂ්ඨ සමාජයක් තුල පවතින නෙසර්ගිකව ඇති "ප්‍රචන්ඩත්වය(symbolic violence )"දර්ශනය වේ.

             ඒ අනුව පෙනී යන්නේ, 

"සමාජය වෙතින් ලබාදෙන අනන්‍යතාවය ප්‍රතික්ශේප කිරීම යනු, සමාජය වෙතින් ප්‍රතික්‍රියාවක් ලෙස නිදහස් කරන ප්‍රචන්ඩත්වය නිර්මාණය කිරීමකි.."යන්නයි.

                                                          -සදලි කොස්තා-

බයිනෙත්තුවෙන් බිහි දොරට තට්ටු කරන තෙක් සිට ඇත්ත-යුත්ත තේරුම් ගන්නවාට වඩා මේ මොහොතෙ ක්‍රියාත්මක වීම වැදගත් කොට සලකමි..!


                                

                               ප්‍රොමිතියස් !



ප්‍රොමිතියස් දෙවියන්ගෙන් ගින්දර ගෙන එන්නට පිටවී ගියේ,මුලු මහත් මිනිස් සංහතියටම ආලෝකය හා උණුසුම රැගෙන එනු පිණිසය.ඊට දෙවියන් කෝප වී ප්‍රොමිතියස් අල්ලා ගල්කුළු දෙකක් අතර මැද තබා සදාකාලික නිරයේ හෙලීය.

එවිට ෆීනික්ස් පක්ශියා තම ආහාරය පිණිස විටින් විට විත් ප්‍රොමිතියස් ගෙ හෘදය මාංශය ඩැහැ ගත්තේය.

මිනිසුන්ට පසු කාලෙක "ගින්දර "ලැබුනි.එහෙත් ගින්දරෙන් වැඩ ගන්නා මිනිසා තමන්ට ගින්දර ලැබුනේ කෙසේදැයි හරිහැටි නොදනී..තමන්ට ගින්දර ලබා දුන් ප්‍රොමිතියස් අන්තවාදියෙකු ලෙස හුදෙකලාවී වේදනාවෙන් තම හෘදයත් මාංශත් ෆිනික්ස් පක්ශියාට දන් දුන් බව තවමත් රහසකි! 

                                                            




                                                -සදලි කොස්තා-



මා නො:වන "මම"

කෙල්ලක බිරිඳක වෙන්නැයි සාරිවලින් සැරසෙන්නැයි උහු කීයෙහු “ගෙත්තම්කාරියක වෙන්න අහර පිසින්නියක වෙන්න මෙහෙකරුවන් සමග නිතර දබර කරන්නියක වෙන්න” “අ...